සිංහල යුනිකෝඩ් සඳහා...


Tuesday, November 23, 2010

නාට්‍ය


ෂේක්ස්පියර්ගේ ලේඛණ ජිවිතයේ කාල වකවානු හතරක් ගැන විද්වත්හු බොහෝ විට මත ප්‍රකාශ කරති. 1590 මැද භාගය දක්වා රෝම සහ ඉතාලි ආකෘති සහ ජනප්‍රිය වංශ කථා සම්ප්‍රදායේ ඓතිහාසික නාට්‍ය ඇසුරින් ඔහු ප්‍රහසනයන් රචනා කළේය. ඔහුගේ දෙවැනි යුගය 1595 දී පමණ ආරම්භ වේ. එම යුගය ‘රෝමියෝ ජුලියට්’ ඛේදාන්තයෙන් ඇරඹේ. 1599 දී එය අවසාන වන්නේ ‘ජුලියස් සීසර්’ ඛේදාන්තයෙනි. ශ්‍රේෂ්ඨ ප්‍රහසන සහ ඓතිහාසික කථා යයි සැළකෙන කෘතින් මෙම යුගය තුල ලියැවුනු ලෙස සැළකේ. 1600 සිට 1608 දක්වා ඔහුගේ ඛේදාන්ත රචනා යුගයයි. 1608 සිට 1613 දක්වා (Tragicomedies නමින් හැදින්වෙන) ඛේදාන්ත සහ ප්‍රහසන දෙකම අඩංගු රොමැන්ටික කෘතින් රචනා කළේය.
ෂේක්ස්පියර් පළමු වාර්තාගත කෘතින් වූයේ ‘3 වැනි රිචඩ්’ සහ ‘6 වැනි හෙන්රි’ හි කොටස් තුනකි. මෙම කෘතින් 1590 යුගයේ මුලදී ලියැවුනු එම යුගයේ මෝස්තරයක් වූ ඓතිහාසික නාට්‍ය විය. ෂේක්ස්පියර්ගේ කෘතිවල කාල නිර්ණයන් කිරීම අපහසු වී තිබේ. මේ සම්බන්ධව කෙරුණු අධ්‍යයන වලදි ‘ටයිටස් ඇන්ඩ්‍රොනික්ස්, ද කොමඩ් ඔෆ් එරර්ස්’ ‘ද ටේමිං ඔෆ් ද ෂ්රූ’ සහ ‘ටූ ජෙන්ට්ල්මන් ඔෆ් වෙරෝනා’ වැනි කෘතින්ද ෂේක්ස්පියර්ගේ මුල් කාලීන කෘති ලෙස සැලකීමට හැකිය. රෆායෙල් හොලින්ෂෙඩ්ගේ (Raphael Holinshed) එංගලන්ත, ස්කොට්ලන්ත සහ අයර්ලන්ත ඉතිහාස කථාවල 1587 සංස්කරණය ආශ්‍රයෙන් කළ ඔහුගේ පළමු ඓතිහාසික නාට්‍ය රචනා මගින් දුර්වල, දූෂිත පාලනයේ විනාශකාරි ප්‍රතිඵල නාට්‍යානූසාරයෙන් පෙන්වා දී ටියුඩර් රාජවංශයේ ආරම්භය සාධාරණීකරනය කරනු දැකිය හැක. මෙම රචනාවලට එළිසබෙත් යුගයේ අනෙකුත් නාට්‍යකරුවන්ගෙන්, විශේෂයෙන් තෝම්ස් කිඩ් සහ ක්‍රිස්ටෝෆර් මාර්ලොව්ගේ ආභාෂය ලැබුනේය. ‘ද කොමඩි ඔෆ් එරර්ස්’ (The comedy of errors) නම් කෘතිය ශාස්ත්‍රීය ආකෘතියක් මත පදනම් විය. එහෙත් ‘ටේමිංග් ඔෆ් ද ෂ්රූ’ නාට්‍යයට එවැනි මූලාශ්‍රයක් නොමැත. ඇතැම් විට ජන කථාවක් ඊට මුල් වන්නට ඇත.
ෂේක්ස්පියර්ගේ මුල් කාලීන ඉතාලි සම්ප්‍රදායේ ප්‍රහසන නාට්‍ය 1590 මැද භාගය වන විට ශ්‍රේෂඨතම ප්‍රහසනවලට වෙනස් විය. ‘අ මිඩ් සමර් නයිට්ස් ඩ්‍රීම්’ නාට්‍යය අනුරාගයේ, හාස්‍යයේ, සහ සමාජයේ පහළ පෙලේ දර්ශනවල සංකලනයකි. ෂේක්ස්පියර්ගේ ඊළඟ ප්‍රහසනය වූයේ ඒ හා සමාන ‘ද මර්චන්ට් ඔෆ් වැනිස්’ කෘතියයි. එහි එළිසබත් යුගයේ දැක්මක් පිළිඹිඹු කරන, පළිගැනීමේ ආශාවෙන් පෙළෙන, මුදල් පොලියට දෙන යුදෙව්වකුගේ ස්වරූපය විදහා පෙන්වයි. එසේ වුවද වර්තමානයේ ප්‍රේක්ෂකයාට එම නාට්‍ය ජාතිවාදි එකක් ලෙස පෙනෙන්නේය. මච් ඇඩෝ එබවුට් නතිංග්, සිත් ඇදගන්නා ග්‍රාමීය පරිසර සහිත ‘ඈස් යූ ලයික් ඉට්’ සහ සතුටු උපදවන ‘ට්වෙල්ෆ්ත් නයිට්’ වැනි නාට්‍ය ෂේක්ස්පියර්ගේ ශ්‍රේෂ්ඨ ප්‍රහසන ක්‍රමය පූර්ණත්වයට පත් කරයි. සම්පූර්ණයෙන්ම පද්‍යයෙන් ලියන ලද කාව්‍යමය ‘දෙවැනි රිචඩ්’ නාට්‍යයෙන් පසු ෂේක්ස්පිර් විසින් ‘හතරවැනි හෙන්රි’ පළමු සහ දෙවැනි කොටස් සහ ‘පස් වැනි හෙන්රි’ වැනි ගද්‍ය ප්‍රහසන රචනා කරනු ලැබීය. ඔහු ඉතා නිපුන ලෙස ප්‍රහසන සහ ගැඹුරු දර්ශන වලට ද, ගද්‍ය වෙතින් පද්‍ය රචනා වෙතද මාරු වන විට ඔහුගේ චරිත වඩාත් සංකීර්ණ හා මෘදු බවට පත් වෙයි. මෙම යුගයේ ආරම්භ වන්නේද අවසාන වන්නේද ඛේදාන්ත දෙකකිනි. එනම් ‘රෝමියෝ ජුලියට්’ සහ ‘ජුලියස් සීසර්’ ගෙනි. රෝමියෝ ජුලියට් යනු ලිංගික වශයෙන් පරිණත වූ යෞවනයින්ගේ ආදරය සහ මරණය පිළිබඳ ඛේදාන්තයකි. ජුලියස් සීසර් නාට්‍යයට ශ්‍රීමත් තෝමස් නෝර්ත්ගේ පරිවර්තනයක් පාදක වී ඇත.
1600 සහ 1608 අතර කාලයේ ‘ප්‍රොබ්ලම් ප්ලේස්’ නමින් හඳුන්වනු ලැබු මෙෂර් ෆෝ මෙෂර්, ට්‍රොයිලුස් ඇන්ඩ් ක්‍රෙසිඩා සහ ඕල්ස් වෙල් දැට් එන්ඩ්ස් වෙල් කෘතින් රචනා කළේ වුවද එම යුගය ෂේක්ස්පියර්ගේ ඛේදාන්ත යුගය වශයෙන් හැඳින්වේ. එසේම ඊට කලින්ද ඛේදාන්ත ලියා තිබිනි. බොහෝ විචාරකයින් ෂේක්ස්පිර්ගේ ශ්‍රේෂ්ඨතම ඛේදාන්තයන් ඔහුගේ කලාවේ උපරිම තත්වය පෙන්වා දෙන බැව් විශ්වාස කරති. ඉහත කි කෘති වලින් පළමු වැන්නෙහි කථා නායකය‍ා වූ හැම්ලට් ගේ චරිතය ෂේක්ස්පියර්ගේ අනෙකුත් චරිත වලට වඩා බොහෝ සෙයින් සාකච්ඡාවට බඳුන් වූ චරිතයකි. විශේෂයෙන් ඔහු තනිවම කථා කරන (“To be or not to be, that is the question” ) “වුනා හෝ නොවුනා හෝ එය තමයි ප්‍රශ්නය” නමැති කොටස සම්බන්ධයෙනි. ඔතෙලෝ හීදි එහි දුෂ්ඨයා විසින් ඔතෙලෝගේ ලිංගික ඊර්ෂ්‍යාව ඔහුට ආදරය කළ ඔහුගේ අහිංසක බිරිඳ මරණයට පත් කිරිම දක්වා අවුලුවනු ලබන්නේය. ‘ලියර් රජ’ නාට්‍යයෙහි දී වියපත් රජු විසින් ඔහුගේ බලය අත් හැරීමෙන් ඔහුගේ දියණිය මැරීමට සැලැස්වීමත් ග්ලොසෙස්ටර් හි අර්ල් වරයාට වදහිංසා පමුනුවා ඔහු අන්ධ කිරීමටත් සැලැස්වීය. ෆ්රෑන්ක් කර්මෝඩ් නම් විචාරකයාට අනුව නාට්‍යයෙන් එහි හොඳ චරිත නොපෙන්වනවා සේම එහි තිබෙන කෲරත්වයෙන් කිසිදු සහනයක් ප්‍රේක්ෂකයාට ලබා නොදෙන්නේය. ෂේක්ස්පියර්ගේ සංක්ෂිප්ත ඛේදාන්ත නාට්‍යයක් වූ මැක්බත් හි මැක්බත් සහ ඔහුගේ බිරිඳ වූ මැක්බත් ආර්යාව ඔවුන්ගේ පාලනය කළ නොහැකි දැඩි ආවේගය හේතුකොට ගෙන නීත්‍යානූකූල රජු මැරීමට සළස්වා අනියම් අන්දමින් සිහසුනට පත් වූහ. පසුව ඔවුන් කළ වරද නිසාම ඔව්හු විනාශයට පත් වූහ. මෙම නාට්‍යයේ ෂේක්ස්පියර් ඛේදාන්ත ගොඩනැංවීමට අද්භූත අංගයන්ද එකතු කරයි. ඔහුගේ අවසාන ප්‍රධාන ඛේදාන්තයන් වූ ඇන්ටනී සහ ක්ලියෝපැට්රා සහ කොරියොලනුස් හි ෂේක්ස්පියර්ගේ කදිම කවි අඩංගු කර ඇත. ටී.ඇස්.එලියට් නම් කිවියා සහ විවේචකයා ඒවා ෂේක්ස්පියර්ගේ ඉතා සාර්ථක කෘතින් ලෙස පෙන්වා දී ඇත.
ඔහුගේ අන්තිම යුගයේදි ෂේක්ස්පියර් ආදරයද ඛේදාන්ත සහ ප්‍රහසන මිශ්‍ර ක්‍රමයටද හැරී තවත් ප්‍රධාන ගණයේ නාට්‍ය තුනක් නිර්මාණය කළේය. ඒවා නම් සිම්බේලින්, ද වින්ටර්ස් ටේල් සහ ද ටෙම්පෙස්ට් වෙයි. ඔහු තව දුරටත් අටවැනි හෙන්රි සහ ද ටූ නෝබල් කින්ස්මන් නම් නාට්‍ය දෙකක් ලියා ඇත. මේවා ජෝන් ෆ්ලේටර් සමග එක්ව කරන්නට ඇතැයි සිතිය හැක. ‍

0 කමෙන්ටු:

Post a Comment

 
Free Host | lasik surgery new york