සිංහල යුනිකෝඩ් සඳහා...


Tuesday, November 23, 2010

කලාව

කලාව යනු සංවේදනා හෝ මනෝභාව ආමන්ත්‍රණය කෙරෙන පරිදි මූලිකාංග දැනුවත් ව පිළිවෙලකට සකස් කිරීමේ ක්‍රියාවලිය යි, නැතහොත් එම ක්‍රියාවලියේ ඵලය යි. සාහිත්‍යය හා සංගීතය ද ඇතුළු ව පුළුල් පරාසයක පැතිර ගිය මානව ක්‍රියාකාරකම්, නිර්මාණ හා ප්‍රකාශන මාධ්‍ය ගණනාවක් මෙයට ඇතුළත් වේ. සෞන්දර්යවේදය නමින් හැඳින්වෙන දර්ශනවාදයේ ශාඛාව තුළ කලාවේ අර්ථය ගවේෂණය කරනු ලැබේ.

කලාව නිර්වචනය කිරීම හා විනිශ්චය කිරීම 20 වැනි සියවසේ මුල් භාගයේ පටන් විශේෂයෙන් ප්‍රශ්නකාරී දෙයක් බවට පත් ව තිබේ. රිචර්ඩ් වොල්හයිම් මේ හා සම්බන්ධ ප්‍රවේශයන් තුනක් හඳුනා ගනියි : සෞන්දර්යාත්මක ගුණය මානව දෘෂ්ටියෙන් ස්වාධීන වූ පරම අගයක් හැටියට සලකන යථාර්ථවාදී ප්‍රවිෂ්ටය; සෞන්දර්යාත්මක ගුණය පරම අගයකින් යුක්ත වන නමුත් සාමාන්‍ය මානව අනුභූතිය මත රඳා පවත්නා බව පිළිගැනෙන වෛෂයිකවාදී ප්‍රවිෂ්ටය; සෞන්දර්ය ගුණය පරම අගයක් හැටියට නොගන්නා, ඒ වෙනුවට එය විවිධ මනුෂ්‍යයන්ගේ මානව අනුභූතීන් මත රඳා පවතින අතර ඒවා සමග විපර්යාසයට ද ලක්වෙතියි පවසන සාපේක්ෂතාවාදී ආස්ථානය.කිසියම් වස්තුවක් එහි දෘශ්‍යමාන කාර්යය කුමක් හෝ වේවා එහි අරමුණ හෝ එවැන්නක් නොමැතිකම, එහි නිර්මාපකයා ආදී පදනම් මත ගුණාංගීකරණය කිරීමට පුළුවන. පෙනෙන පරිදි කිසියම් ද්‍රවයක් දරා සිටින උපකරණයක් හැටියට භාවිත කළ හැකි වුවත් කෝප්පයක් හුදෙක් සැරසිල්ලක් ලෙසින් භාවිතයට ගන්නේ නම් එය කලා කෘතියක් වශයෙන් ද සැලකීමට හැකියාවක් තිබේ. ඒ අතර ම චිත්‍රයක් මහාපරිමාණ ප්‍රතිනිෂ්පාදනයට ලක් වන්නේ නම් එය හුදෙක් ශිල්පයක් වශයෙන් හැඳින්වීමට ද ඉඩ තිබේ.

සාම්ප්‍රදායික ව, කලාව නමැති පදය ඕනෑ ම ශක්‍යතාවක් හෝ සමත්කමක් විස්තර කරනු පිණිස භාවිත විය. කලාව, "ආගම හා විද්‍යාව සමග එක්ව වර්ගීකරණය කළ හැකි මිනිස් මනසේ විශේෂ අධ්‍යයනේන්ද්‍රියක්" හැටියට සැලකීමට පටන් ගත් රොමෑන්තික යුගයේ දී මේ සංකල්පනය වෙනසකට භාජනය විණි. සාමාන්‍ය වශයෙන්, කලාව සිතිවිලි හා භාව උද්දීපනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන නිර්මාණය කරනු ලැබේ.

කලාවේ ස්වභාවය "මානව සංස්කෘතිය පිළිබඳ සාම්ප්‍රදායික ගැටලු අතරින් වඩාත් ම දුරවබෝධාත්මක වූවක්" වශයෙන් රිචර්ඩ් වොල්හයිම් විස්තර කරයි. මනෝභාව හා අදහස් ප්‍රකාශ කිරීම හෝ සන්නිවේදනය සඳහා වූ වාහකයක්, ආකෘතික අංශ ඒවායේ ම අවශ්‍යතා උදෙසා ගවේෂණ කිරීමේ හා ඇගැයීමේ මාර්ගයක්, සහ අනුකරණයක් හෝ නිරූපණයක් වශයෙන් එය නිර්වචනය කරනු ලැබ තිබේ. එක් පුද්ගලයකු තවෙකෙකු අතර වක්‍ර සන්නිවේදනයක් සිදු වන මාර්ගයක් වශයෙන් ලියෝ තොල්ස්තෝයි කලාව හඳුනාගත්තේ ය. බෙනදෙත්තෝ ක්‍රෝස් සහ ආර්. ජී. කොලිංවුඩ් කලාව මනෝභාව ප්‍රකාශයට පත් කරන බවත් එහෙයින් කලා කෘතියක් සාරභූත වශයෙන් එහි නිර්මාපකයාගේ මනස තුළ පවත්නා බවත් කියැවෙන විඥානවාදී දෘෂ්ටිය ඉදිරිපත් කළෝ ය. කලාව ආකෘතිය වශයෙන් ගන්නා කලා න්‍යායෙහි මුල් ඇත්තේ ඉමැනුවෙල් කාන්ට්ගේ දර්ශනය තුළ ය. මෙය විසි වන සියවසේ මුල් භාගයෙහි දී රොජර් ෆ්‍රයි සහ සිල්වි බෙල් විසින් වැඩිදුර වර්ධනය කරනු ලැබී ය. කලාව වනාහි අනුකරණය හා නිරූපණය හැටියට ගන්නා නිර්වචනය ඇරිස්ටෝට්ල්ගේ දර්ශනය තුළ ගැඹුරින් මුල් බැස ඇත.


පදය පිළිබඳ නිර්වචන

1750න් පමණ පසු පුළුල් වශයෙන් පිළිගැනෙන්නට වූ "කලාව" නමැති පදය පිළිබඳ වඩාත් ම සුලභ භාවිතය වන්නේ සෞන්දර්යාත්මක ඵලයක් ජනනය කිරීමට ඇති ශක්‍යතාව යි. ජාලගත බ්‍රිටැනිකා විශ්වකෝෂය මෙය "අන් අය සමග බෙදාහදාගත හැකි සෞන්දර්යාත්මක වස්තූන්, පරිසරයන්, හෝ ප්‍රකාශනයන් නිර්මාණය කිරීම සඳහා ශක්‍යතා සහ පරිකල්පනය යොදාගැනීම" වශයෙන් නිර්වචනය කරයි. මේ ඕනෑ ම නිර්වචනයක් අනුව කලාත්මක කෘති මිනිස් සංහතිය තරම් ම දීර්ඝ කාලයක් තිස්සේ - මුල් කාලීන ප්‍රාග් ඓතිහාසික කලාවේ පටන් සමකාලීන කලාව දක්වා - පැවත අවුත් තිබේ; එසේ වුව ද ඇතැම් න්‍යායයෝ කලාව පිළිබඳ සංකල්පය නූතන බටහිර සමාජයන්ට සීමා කරති. "කලාව" නමැති සංකල්පය පිළිබඳ බොහෝ දෑ ලියැවී තිබේ. 1970 දී ඇඩෝනෝ ලියූ පරිදි "තව දුරටත් කලාව පිළිබඳ කිසිදු දෙයක් ප්‍රශ්න කිරීමකින් තොර ව පිළිගත හැකි නොවන බව දැන් ප්‍රශ්න කිරීමකින් තොර ව පිළිගැනේ" කලාව පිළිබඳ පළමු සහ පුළුල්තම අදහස පැරණී ලතින් අර්ථයට සමීප ව දිගට ම පැවති සංකල්පය යි. එය දළ වශයෙන් "ශක්‍යතාව" හෝ "ශිල්පය" වශයෙන් පරිවර්තනය කළ හැකි ය. එසේ ම එය "සංවිධානය" හා "පිළිවෙලකට සකස් කිරීම" යන ඉන්දු-යුරෝපීය අරුත ද සම්පාදනය කරයි. එම අර්ථයෙන් ගත් කල, කලාව යනු කිසියම් කාර්ය සාධකයකු විසින් හිතාමතා පිළිවෙල-ගැන්වීමේ හෝ සංවිධානය කිරීමේ ක්‍රියාවලියකට පාත්‍ර කරනු ලැබූ ඕනෑ ම දෙයකි.

කලාවේ ඉතිහාසය තුල මතභේද වර්ගීකරණය

කිසියම් නිර්මාණයක් හෝ විධික‍්‍රමයක් කලාව ලෙස සැලකියහැකිද යන්න පිලිබඳව ජනතාව අතර මතභේද පැවතීම කලාවේ ඉතිහාසය තුල සාමාන්‍ය සිදුවීමකි. ඇත්තෙන්ම කියන්නේ නම් පසුගිය සියවසේ වැඩි කාලයක් කලාව යනු කුමක්ද යන්න පිලිබඳ මදභේද විය. කලාවේ දාර්ශනිකයෝ මෙම මතභේදයන් ‘කලාව වර්ගීකරණය කිරීමේ මතභේදයන්’ ලෙස නාමකරණය කරති. උදාහරණයක් ලෙස පැරණි ගී‍්‍රක දාර්ශනිකයෝ ‘යහපත් ජීවිතයක් ගතකිරීමේ’ කලාව ලෙස ආචාර ධර්ම සැලකිය යුතුද යන ප‍්‍රශ්ණය සංවාදයට ලක්කළහ. 20 වන සියවසේ වර්ගීකරණ මතභේදයන් අතර ඝනිකවාදී සහ ප‍්‍රකාශනවාදී චිත‍්‍ර, ඩුෂෙම්ප්ගේ ෆවුන්ටන්, චිත‍්‍රපට, මුදල් නෝට්ටුවල විශිෂ්ඨ අනුකරණයන්, සම්ප‍්‍රචාරණය පමණක් නොව මුත‍්‍රාවල ගිල්වන ලද සුරුවම පවා විය. සංකල්පීය කලාව බොහෝවිට දැනුවත්වම කලාව ලෙස සැලකෙන්නේ කුමක්ද යන්නෙහි සීමා මායිම් පුළුල් කරයි. කලාකරුවන් විසින් ක‍්‍රමක‍්‍රමයෙන් වීඩියෝ කී‍්‍රඩා වැනි නව මාධ්‍ය තෝරාගැනීම සහ/ හෝ කලාවේ ප‍්‍රවර්ගයන් ලෙස පිලිගැනීමට ලක්වෙමින් පවතී. මෙම නව වර්ගීකරණ විතැන්වීම් විශ්වීය ලෙස පිලිගැනීමට ලක්වී නොමැති බැවින් මතභේදය පිලිබඳ විෂය තවදුරටත් නොනැසී පවතී.

කලාවේ ස්වභාවය පිලිබඳව වන මතභේදයන් සියවස් ගණනාවක් තිස්සේ දික්ගැසුනු ඒවා වෙයි. එකී මතභේදයන්හි ප‍්‍රතිඵලයක් ලෙස සමහර ප‍්‍රවර්ගයන් තහනම් කිරීමද සිදුව ඇත.

දාර්ශනිකයකු වූ ඬේවිඞ් නෝවිස් පවසන ආකාරයට කලාවේ අර්ථ නිරූපනය පිලිබඳ එකඟතාවයක් නොවීම ප‍්‍රශ්ණයේ කේන්ද්‍රය වන්නේ කලාතුරකිනි. ඔහුට අනුව ‘කලාවේ වර්ගීකරණ මතභේදයන්හි වැදගත්ම කොටස’ වන්නේ ‘මිනිසාගේ සමාජ ජීවිතය තුල අන්තර්ගතව පවත්නා ලලාසාත්මක සිතිවිලි සහ අභිරුචීන්’ ය (නෝවිස් 1996). නෝවිස්ට අනුව වර්ගීකරණ මතභේදයන් බොහෝවිට නිවැරදි න්‍යායට අනුව ගමන් කිරීම වෙනුවට සමාජය සමඟ ගමන් කිරීමට උත්සාහ දැරීමේදී උත්ගත වන්නාවූ අපගේ වටිනාකම් පිලිබඳ මතභේදයන්ය. හර්ස්ට් හා එමින්ගේ කෘතින් පිලිබඳව චෝදනා කරමින් ඬේලි මේල් පුවත්පත ‘වසර 1000 ක් තිස්සේ කලාව ශ්‍රේෂ්ඨ ශිෂ්ඨකරණ බලවේගයක් ලෙස කටයුතුකොට ඇති අතර වර්තමානයේ මේ තක්කඞීන් අප සියලූ දෙනාම ම්ලේච්ඡයන් බවට පත්කිරීමට උත්සාහ ගනිති’ යනුවෙන් ලියන විට අදහස් කරන්නේ මෙයයි. කලාව පිලිබඳ අර්ථනිරූපනය හෝ න්‍යාය ඉදිරියට ගෙන යනවා වෙනුවට ඔවුන් කරන්නේ හර්ස්ට් හා එමින්ගේ කෘතීන්හි වටිනාකම් ප‍්‍රශ්ණ කිරීමයි.

0 කමෙන්ටු:

Post a Comment

 
Free Host | lasik surgery new york